Monday, November 30, 2015

රාත්‍රිය
බිය ගනී
ආලෝකයට
අඩ කවුලුවෙන්
පෙරී එන


උණ පඳුර
නවත්වයි සිලි සිලිය
කුණාටුවට මොහොතකට පෙර
ගඟදිය 
මදක් නවති 
නෑසෙන හෙයින් පසුබිම් මියැසිය



නන්දනිය,
කොහේද සැඟවූ යේ ඔබ 
කලින් මට දුන්
ආලය...
නන්දනය,
ගෙන ගියා එය
දුවණිය
සැමියාට දීමට....



Friday, November 27, 2015

මහගෙදර බිත්තියේ
කැන්දන් යන්න අමතක වුණ
මොනාලිසා
තාමත් හිනා වෙනවා
සරදමට වගේ
කැන්දන් යන හැටි බලාගෙන
දෑවැද්ද එක්ක මං!!!!!




සඳළුතල ඉවත් කල යුතුය
ආදරය ඇති විමට පෙරම.....

උස් කර බැඳි වරලස අග
අමතකව ගිය කෙස් රොදක්
උඩ පනි,සැහැල්ලුවට..

Thursday, November 26, 2015

පහන

රෑ,

කළුවර
ගෙට අරන් 
පහනක් හොයන හැටි....



හිත

ඉතා වයසය හිත
පෙම් බැඳුම් ලෙහෙන තරමට!




Tuesday, November 24, 2015

කවුළු

සිහින් දුහුලෙන්
සැරසුන කවුළු
ගේට්ටුව දෙස බලාගෙන
සේපාලිකා සුවඳ ඉස
සඳු එනතුරු
වළාකුලෙන් බැස...




වාහන

වැහි හීතලට
දුම් බොන
වාහන...




සූර්යකාන්ත

එකම හිරු ගැන
ඇස් රතුවන
නෙළුම දැක
හිනා වෙන සූර්යකාන්ත...




බොආබ් ගස


යටිකුරු කර ඇති 
බොආබ් ගස
තනිකඩව අනන්තය පෙනෙන
සුසිනිඳු සේද වැලි පලස මත
කොළ
දුඹුරු
රතු
කහ
දිගු පලල් මිටි බෝතල
උඩුකුරුව
නොපෙනනා හුයකින්
ගහේ අතු අග
ගෙල වැලලාගෙන
සෙමෙන් සුලලිතව
වැලපෙමින්

මිහිරි සංගීත ස්වර වයන
හු කියන සුළඟට
අමතක කර යන එන අත
ගිගිරි සර්ප මහතුන්
වල්ග අග උණ්ඩ පුරවමින
වැලි මත වැතිර
එල්ලය ගෙන
පඹයින්ට වෙඩි තබන
මේ විසල් 
වැලි මත
ඈත නොපෙනෙන ඉර
හොරෙන් දහඩිය පිහන...



ජනෙල් රෙදි


වැහි හුළඟට
ජනෙල් රෙදි
ගැඹුරැති සුසුම්
සලමින්
උස්පහත් වෙන
ළය
සඟවන්ට
තැත් දරමින්...




Monday, November 23, 2015

පුනරාගමිත පෙම්වත

පුනරාගමිත පෙම්වත
බැඳීමකි වම‘ත මත
මෙන්න හදවත
රැගෙන යනු මැන අන් අතක....
කඳුළු මල් වරුසාවක
තෙමෙන ඔය ඇස් දෙක
අමතක නොවේ මට
සංසාර පුරාවට...
සංසාරෙ එක මොහොතක
අමතක වුනා නෙවෙද එය
බිඳුණු විට පුර හඳ
මතක් වූවා නෙවෙද අටවක....


පෙම



තරැවකට පෙම් බැඳි
කදෝකිමි තෙම
පිණි බිඳකින්
තම රුව විමසමින්....

සුළඟ




සුළඟ මහා කලාකරු
මල් පෙති මත
දෙවිවරු
ලියපු කවි බලන
ඉතා උස් තුරු මත
කුරුල්ලන් ලියන
තාල ගයන..