Wednesday, September 7, 2016

නුඹ, උයන සහ මම


උයන් කොන
දිගු පටු මං පෙත් ය
රොබරෝසියා පෙති හලන
මැයි මාර සිනා සෙන
නුඹ
මිදී මා සුරතින්
රොබරෝසියා පෙති නෑව
වංගුව මේක
මෙන්න මේ අඩ අඳුරු තැන
නුඹේ මුව සිප ගත්ත තැන
තනියම ඇවිද්දත් අද
කටපාඩමින් කිව්වැකි
මතක පොද
නුඹ හා එක්ව සිට
අතීතෙට අයිති උන


දුර




සුසුම් දෙක තුනක දුර
නාඳුනන අප අතර



Friday, September 2, 2016

ගින්දර



ඔබ දුන්න ගින්දර
ප්‍රවේසම් කරගමි
සීතලට අවුලන්න
හිම වැටෙන්නට පටන්ගත්තම...



පිළිස්සුම




පිලිස්සෙන්නේ නුඹද
නැතිනම් ඒ මගේ හිතද?



Thursday, September 1, 2016

පහන



නිවී ගිය පහනකි
පෝය දුර දැයි
කල්පනා කරන


අම්මා




කළු අත් බෑගයකි
බලි කුරුටු සිතුවම් ඇති
අම්මා යැයි ලොකුවටම ලියන ලද




 

වන්නම



විසික් උන ගිනි අඟුරකට
වෙනස් කල හැකිද වන්නම ?


නුඹට ඕනෑ හැටියට



තවරමි වත්සුණු
නුඹ කිව්ව විදිහට
එපා කිව් අංජන
දමමි කුණු කුඩෙට
ගිල්වමි නිල් දෙනෙත
කළුපාට උපැසියක
මේ ඉතින් මම
නුඹට ඕනෑ හැටියට





මකරු



හඳුනන මකරුන් ය
බැල්මකින් ගිනි දල්වන
මම 
ගිනි නිවනු නොහැකිව
ළතැවෙන



මල්

“රෝස“ වෙනවට වඩා අමාරුයි
“පිච්ච“ වෙන එක
 “ඇන්තූරියම්“ ගනන් උස්සන්නේ බොරුවට
 “කඩුපුල්“ වෙනමම කතාවකි
  ඉක්මනින් ඉවරවෙන


Wednesday, August 31, 2016

කන්ද


ඈත උස කඳු මුදුනක
නුඹ ඇතැයි සිතාගෙන මම
ඇහිපිල්ලමෙන් තොරව
බලාඉමි 
අවසන
කන්ද මට අත වනනු දැක
බිම බලාගෙන ගෙට යමි



නඩුව


මහා සැර මූණක් තිබ්බට
ලෝයර් මහත්තයා
සැරම නෑ සෙනේ
කවුරුත් නැති වෙලාවට
පුපුරු ගහනවා ඇස් අගිසි
කරුණාවට වෙන්නැති සෙනේ
ඔයාට සල්ලි නැති බව
මං දන්නවා සෙනේ
නඩත්තුව දුන්නා කියල
මගෙ කුරුටු අත්සන
ගහන්නට පුරුදුවෙන්නම් සෙනේ
දැං ඔයා කාලද සෙනේ?
මෙච්චර කාලයක් අහපු එක
එකපාර නවත්තන්න
අමාරුයි සෙනේ
බෙහෙත් ටික උනත්
වරද්දන්න හොඳ නෑ සෙනේ
අද ඇන්දෙ කහපාට මල් වැටුණු සාරිය
ඔයා මට ඒ දවස් වල අරන් දීපු
මල් වල කහපාට අඩුවෙලා සෙනේ
හරියට අපේ ආදරේ වගේ
මං තාම උසාවිය ලඟ
අම්මත් බලාගෙන ඇති
එහෙමනං මං යන්නද සෙනේ?
ඔයා ආවේ නැති හින්දම
නඩු වාරෙ 25 ට කල් ගියා සෙනේ
බුදුසරණයි සෙනේ

Wednesday, May 18, 2016

විරු පුත!!!!




වෙව්ලන අතැඟිලිය
වෙව්ලන හිත් ඇතිව
යන්තං පෙනෙන ඇස්
පිසදා ගෙන බැලුව
තුරුලේ හොවා ගෙන
නැලවිලි ගී කිව්ව
ගල් බිත්තියෙන් එනවද
පුත දිවි පිදුව





Friday, December 4, 2015

වධකාගාර බිත්තිය

මේ මෙතැන බිත්තියේ වීරෝදාර පුත්තු අම්මලාගේ ඇහැ ගැටෙන්නට තැළු අතැඟිලි වාරු කරගෙන ඇඟිලි සලකුණු තබා යන්නැති ආයෙමත් ආපු නැති පුතාලා වෙනුවෙන් අම්මලා තවමත් 
කඩින් කඩ හුස්ම ගන්නවා ඇති

වරාමල්


මා ඔබට පිටුපෑවොතින්
මල් කැකුලක් ලෙස වත් නොඑන්නට සිදුවේවි
මම ඔබ දෙස බැලුවොතින්
දෑස පියාගෙනම ජීවිතේ ගෙවන එක හොඳ වේවි
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
වරා මලක් වෙමි නු‍ඹේ සුසුමින් පණ ලබන
ඔබ වෙතට ලඟාවිය හැකිනම්
ඔබව වැළඳගත හැකි නම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
ඔබේ ප්‍රේමයේ මෘදු ඇඟිලි තුඩු ලඟාවෙයි මගේ හදවතට
නොදනීද ඔබ, දිගු රාත්‍රියකට පසු
ආදරේ හිනාවෙන බව කඳුළු අතරින්
මට ඔබ වැළඳගත හැකි නම්
මට ඔබ වෙත ළඟාවිය හැකිනම්
නොහැකිවේ වි මට එය නොහැකිවේවි
වරා මලක් වෙමි නු‍ඹේ සුසුමින් පණ ලබන
නොබලාම ඔබ දෙස දකිමි ඔබව
කන් නොදී ඔබ හඩට අසමි මම ඔබව
විසිර යමි සුළං රැළක මෘදු හිම පියලිව


https://www.youtube.com/watch?v=-aq1ufHcmcI

Thursday, December 3, 2015

විලෝ තුර පොකුණ අද්දර
අමනාපයෙනි හිම තුහින ගැන
දිගු කෙස් කලඹ සුදු පැහැ කරන

නම නොදන්නා ගස
පැළඳගන්නට හිම පියලි
හලා ඇත සියළු තුරු පත්
වේලපහින්ම

සමනල්ලු 
පිච්ච මල් වල නැවතෙති
සුවඳම පිච්ච තෝරති
සිරිපා වන්දනාවට

තුනී ඇතිරිල්ලක්ව හිම
වැතිරේ රෝස පාත්තිය මත
සිසිරය සමඟ

සුවඳැති නගරයකි
ක්‍රමිකව සැලසුම් කරන ලද
කිසි විටක නොපෙනේ
වීරවරියන්ගේ පිළිම
සටනින් ජය ලද